සී/ස කටුගම්පල විවිධ සේවා සමුපකාර සමිතිය - පන්නල
අප ගැන

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඩ සමිති වශයෙන් පන්නල විවිධ සේවා සමුපකාර සමිතිය හා ගිරිඋල්ල විවිධ සේවා සමුපකාර සමිතිය වශයෙන් සමිති දෙකක් පැවති අතර, 1972 නව ප්‍රතිසංවිධානයත් සමගම සමිති දෙක ඒකාබද්ධ කර සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමුපකාර සමිතිය වශයෙන් කුලි/183 යටතේ ලියාපදිංචි කරන ලදී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල මැතිවරණ බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 67ක් ආවරණය වන පරිදි සමිතියේ ව්‍යාපාරික කටයුතු විහිදුවා ඇත. පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථාන 04ක්, ආරෝග්‍යශාලා 06ක්, ජාතික පාසල් හා අනෙකුත් පාසල් 35 ක් පන්නල ප්‍රාදේශීය සභාව හා උප කාර්යාල 02ක්, ගොවිජන සේවා මධ්‍යස්ථාන 02ක්, පන්නල ගිරිඋල්ල ප්‍රධාන නගර 02ක් හා උප නගර රාශියක් බල ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇත. වර්තමානයේ සාමාජික සංඛ්‍යාව 32500 වන අතර බලප්‍රදේශයේ සමස්ථ ජනගහනය 105398ක් පමණ ජීවත් වේ.

සාමාජික ඡන්දයෙන් තේරී පත් වූ ගරු අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරන අතර, ඔවුන්ගේ කැපවීම හා උනන්දුව මත හා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය තීරණ නිවැරදිව ආයතනය තුළ ක්‍රියාත්මක කිරීම මගින් සාර්ථක සමූපකාර සමිතියක් බවට පත්ව ඇත.

කෝප්සිටි 02ක්, මිනි කෝප්සිටි 08ක්, ප්‍රාදේශික 15ක්, තොග ගබඩා 03ක්, ඉන්ධන පිරවුම්පල 03ක්, අවමංගල අංශ 01ක්, සති පොල අංශය, පැකට් අංශය, ග්‍රාමීය බැංකු 09ක්, ප්‍රවාහන අංශයේ ලොරි රථ 03ක්, වෑන් රථ 01ක්, ට්‍රැක්ටර් 01ක්, කැබ් 01ක්, අවමංගල රථ 02ක්, සමුසෙත වෛද්‍ය සේවා මධ්‍යස්ථාන 01ක්, ෆාමසි 01ක්, උත්සවශාලා 01ක්, රක්ෂණ නියෝජිත අංශය 01ක්, ගෑස් අලෙවි නියෝජිත අංශයෙන් සමන්විත ව්‍යාපාර ජාලයක් සමිතිය සතුව ඇත.

සාමාජික හා සාමාජික නොවන ජනතාවගේ මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ග්‍රාමීය බැංකු 09 මගින් ම බලප්‍රදේශයේ කටයුතු කරන අතර, පාසල් වල තැන්පතු ඒකරාශිකරණය, සති පොළවල් වල තැන්පතු ඒකරාශිකරණය, සහනදායී පොලී අනුපාත මත ණය දීම, රන් ණය උකස් සේවාව, කණ්ඩායම් ණය ක්‍රමය, සියලුම බිල් පත් භාරගැනීම, ගොවි විශ්‍රාම වැටුප් හා රාජ්‍ය විශ්‍රාම වැටුප් ගෙවීම වැනි කටයුතු මගින් ජනතාව වෙත සමීප වී ඇත. සාමාජික ඇප 02ක් මත රු. ලක්ෂ 5ක් දක්වා ණය පහසුකම් ද, දේපල ඇප මත රු. ලක්ෂ 35 දක්වා ණය පහසුකම් ද පිරිනමනු ලැබේ.

රුපියල් මිලියන 150කට ආසන්න වෙළඳාමක් මාසිකව සිදුකරන අතර, සියලුම ව්‍යාපාරික අංශ ලාභදායීව පවත්වාගෙන යනු ලැබේ. මෙම කටයුතු සිදු කරන කාර්ය මණ්ඩලය හට A ශ්‍රේණියේ වැටුප් ගෙවීම හා රජයේ අනුමත සියලුම දීමනා ද ලබාදීම සමිතිය මගින් සිදු කරනු ලැබේ. සේවක අභිප්‍රේරණය සඳහා වාර්ෂික චාරිකා, දිරිදීමනා ක්‍රම, නිල ඇඳුම්, විදේශ ශිෂ්‍යත්ව, සේවක රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක අතර, වසරකට වරක් සේවකයෙකුට නිවසක් ඉදිකරදීම සිදුකරනු ලැබේ. තවද ප්‍රවර්ධන නිලධාරීන්ට යතුරුපැදි පහසුකම්ද සමිතිය මගින් ලබාදී ඇත.

සමිතිය මගින් ව්‍යාපාරික කටයුතු මෙහෙයවනවාට සමගාමීව බල ප්‍රදේශය තුළ ප්‍රජා සත්කාර සේවා හා සුබසාධන සේවා රාශියක් සිදු කරනු ලැබේ.  සුභ සාධක සාමාජිකයෙකුගේ අභාවයකදී රු.15,000/-ක මුදලක්, කාලාත්‍රයාගේ අභාවයේදී රු.15,000/-ක මුදලක්, මව පියා අභාවයේදී රු.10000/- ක්, දරුවෙකුගේ අභාවයකදී රු.10000 ක් සමිතිය මගින් පිරිනමන අතර, විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සාමාජික දරුවන් වෙනුවෙන් රු.5000/-ක මුදලක් ශිෂ්‍යයාධාර වශයෙන් ලබාදේ. 05 වසර ශිෂ්‍යත්වය සමත් වන සියලු දරුවන් හට රුපියල් 1000 ක ශිෂ්‍යාධාර ලබා දෙන අතර, ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ,   සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ, උසස් පෙළ සම්මන්ත්‍රණ සමිතිය මගින් නොමිලේ දරුවන් හට ලබාදේ.  සාමාජිකයින්ගේ ස්වයං රැකියා නිෂ්පාදන සමිතිය මගින් අලෙවි කර දෙන අතර, එළවළු පලතුරු නිෂ්පාදන ද අලෙවි කර දී වෙළෙඳපොළ හඳුන්වා දීම සිදු කරනු ලැබේ. සමිතිය මගින් අවමංගල සේවා ලබා ගැනීමේදී බැනර්, සුදුරෙදි, පෝස්ටර් නොමිලේ ලබාදෙන අතර, නෙස්කැෆේ මැෂින් ද නොමිලේ ලබා දීම සිදු කරනු ලැබේ. මෙම සුබසාධන සේවාවන්ට අමතරව බල ප්‍රදේශයේ ආගමික ස්ථාන, පාසල් හා පොදු කටයුතු සඳහා ආධාර උපකාර කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලැබේ.

සමිතියේ සියලු ඉදිකිරීම් කටයුතු ටෙන්ඩර් ලබා නොදී වැඩ කුලියට පමණක් මිල ගණන් කැඳවා සමිතියේ නිලධාරියකුට අමුද්‍රව්‍ය ලබා ගැනීමට බලය ලබා දී සිදු කිරීම තුළින් විශාල මුදලක් සමිතිය වෙත ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම සියලු කාර්ය වල ප්‍රතිඵලයක් වශයෙන් සමූපකාර කාර්ය සාධන තරගාවලිය තුළින් 2020/ 2021 වර්ෂයේ දී මෙම සමිතිය රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2021/ 2022 වර්ෂයේ කාර්ය සාධන තරගාවලිය තුළින් ද මෙම සමිතිය රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී.

0374942113 | 0372246002
ප්‍රදාන කාර්‍යාලය

0374942116
ග්‍ර්‍රාමීය බැංකු අංශය

0372246821
Fax

Email
katugampalampcs@gmail.com